සමූපකාර ප්‍රතිපත්ති සහ සාරධර්ම මත පදනම්ව කාර්යක්ෂම විනයගරුක වූ කඩුවෙල කලාපයේ ආදර්ශමත් තිරසාර සණස සමිතිය හා බැංකුව බවට පත්වීම
සමූපකාර ප්‍රතිපත්ති සහ සාරධර්ම මත පදනම් වූ සාමාජිකත්වය ප්‍රමුඛ කරගත් බල ප්‍රදේශයේ සමස්ථ ප්‍රජාවගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ අධ්‍යාපනික සංවර්ධන ඉලක්ක හා අරමුණු ඉටුකර ගනිමින්, දිළිදුකම පිටු දකිමින් ආගම් භේදයකින් තොරව යහපත් නව සමාජයක් ගොඩ නැගීම
දිනෙන් දින ඉහළයන අපගේ සාමාජික භවතුන් වෙනුවෙන්ම සකස් කල මුල්‍ය හා සුභසාධන සේවාවන්හි පහසුව හා ඉහළ ප්‍රතිලාභ ලබාදීම
සී/ස හොරහේන සණස සමිතියේ ප්‍රථම ලේකම් වන කේ.එච්. පෙරේරා මහතාගේ පුතා වන ප්‍රේමලාල් විජිත කුමාර සණස ආරම්භය පිළිබඳව පියාගෙන් දැනගත් තොරතුරු සහ මා දන්නා කරුණු ඉදිරිපත් කරමි
කේ.එච්. පෙරේරා මහතාගේ මහගෙදර වන 45, හොරහේන, හෝකන්දර ලිපිනයේ ඇති නිවසේ සෝල්දරය මත එවකට තරුණයන්ව සිටි ඔවුන් විසින් නාට්‍ය, අවමංගල්‍යාධාර සමිති ඇතුළු නොයෙක් ක්‍රියාකාරකම් සිදුකරන ලදී. එක අවස්ථාවක පියා විසින් සණස සමිතියක් පටන් ගනිමු යැයි යෝජනා කර එවකට පාඨශාලාචාර්‍ය්‍ය වරයෙකු වූ පී.ඒ.එස්. පෙරේරා මහතා සමඟ එවකට සිටි කොමසාරිස්තුමා හමුවී, සණස සමිතියක් පටන් ගැනීමට අවසර ඉල්ලා ඇත. ඒ වන විටත් හෝකන්දර උතුරට සණස සමිතියක් කොස්කඳවිල පැවති හෙයින් අවසර දී නොමැත. නමුත් උත්සාහය අත් නොහල ඔවුන් දිගින් දිගටම කොමසාරිස් තුමාගෙන් අවසර ඉල්ලා ඇත. එය මග හැරීමට නොහැකි වූ කොමසාරිස් තුමා, කොස්කඳවිල සමිතියෙන් අවසර ගෙන එන ලෙස පවසා ඇත. ඔවුන් දුන් අවසරය අනුව පසුව කොමසාරිස් තුමාද අවසරය දී ඇත.
ඒ අනුව කේ.එච්. පෙරේරා මහතාගේ නිවසේ සෝල්දරයේ සණස සමිතිය පවත්වාගෙන ගොස් ඇත. ප්‍රථම සභාපති ලෙස පී.ඒ.එස්. පෙරේරා ද, ලේකම් ලෙස කේ.එච්. පෙරේරා ද පත්වී ඇත. පසුව සෝල්දරයේ ඉඩ මදිවීම නිසා, පී.ඒ.එස්. පෙරේරා මහතාගේ ඉඩමේ සෑදු තාවකාලික මඩුවක සණස සමිතිය පවත්වාගෙන යන ලදී. පසුව මතුවූ මතභේදාත්මක අවස්ථාවක, පී.ඒ.එස්. පෙරේරා සභාපතිතුමා සණසෙන් ඉවත්වී ඇත. පසුව සභාපති ලෙස කේ.එච්. පෙරේරා මහතා අනෙකුත් සාමාජිකයන් සමඟ අභියෝග මැද මේ සණස ව්‍යාපාරය ඉදිරියට ගෙන යන ලදී. පසුව ඇති වූ අභියෝග හමුවේ සණස සමිතිය පී.ඩබ්. ඇල්බට් මහතාගේ නිවසේ ස්තොප්පුවේ පවත්වන ලදී.
ඉන් අනතුරුව කේ.එච්.පෙරේරා මහතාගේ 1/4, හොරහේන, හෝකන්දර යන ස්ථානයේ ස්ථිරව සෑදු සණස ශාලාවක, අලුත් ශාලාව සාදන තෙක් අවුරුදු 30කට වැඩි කාලයක් පවත්වාගෙන යන ලදී. ආරම්භයේ පටන් 1990 දශකය වන තෙක්ම සභාපති, ලේකම් ලෙස කේ.එච්.පෙරේරා මහතා නොයෙක් අභියෝග මැද්දේ මෙම සමිතිය ඉදිරියට පවත්වාගෙන එන ලදී. ඔහුගේ නොසැලෙන අධිෂ්ඨානය නොවන්නට හොරහේන සණස මේ දක්වා වර්ධනය නොවනු ඇත. අවුරුදු 50කට වැඩි කාලයක් නිලතල හෙබවීම නිසා ඔහුට සණස ව්‍යාපාරයෙන් සම්මාන පවා හිමිවිය. දැනට පවතින සණස සමිති ශාලාව සෑදීමේ මුලිකයා වුවේද ඔහුගේ නායකත්වය මත තිබූ කාරක සභාව විසිනි.
සී/ස හොරහේන සණස සමිතියේ වසර 22ක් ලේකම් තනතුර දැරූ පී.ඒ. ලයනල් පෙරේරා මහතාගෙන් ලබාගත් තොරතුරු
1992 වසරේ අග භාගයේ හා 1993 වසරේ මුල භාගයේදී එවකට කාරක සභාවේ ප්‍රධාන නිලතල වල ප්‍රධානීන් වෙනස් කරමින් මහ සභාව මගින් අලුත්ම කාරක සභාවක් පත් කර ගන්නා ලදී. 1992 වර්ෂයේදී එවක සිටි කාරක සභාව මගින් සී/ර සමිතියක්ව පැවති සමිතිය සී/ස සමිතියක් බවට පත් කරමින් බැංකු කාර්යාලයක් පවත්වාගෙන යමින් බැංකු කටයුතු ආරම්භ කල අතර සී/ස සමිතියක් වීම හේතු කොට ගෙන එතෙක් පැවති භාණ්ඩාගාරික තනතුර වෙනුවට කලමණාකාරවරියක පත් කරගන්නා ලදී. සී/ස සමිතියක් වීම හේතු කොට ගෙන එතෙක් භාණ්ඩාගාරිකවරයා වෙත පැවරී තිබුන සමිතියේ මුදල් පරිහරණය කිරීමේ බලතල අභිනව කළමණාකාරවරිය වෙත පැවරීම සිදුවිය. ඒ අනුව මුල්ම කළමණාකාරවරිය ලෙස හිටපු සභපති කේ.එච්. පෙරේරා මහතාගේ දියණියක් වන එච්. රෝහිණි කුමාරගේ මහත්මිය කළමණාකාරවරිය ලෙස පත්කරගන්නා ලදී. පී.ඒ. නැන්සි නෝනාගේ නිවසේ කුලියට ගත් කොටසක මුල්ම බැංකු කාර්යාලය පිහිටුවන ලදී.
1986 පමණ සිට සමිතිය කොළඹ දිස්ත්‍රික් සණස සංගමයේ සාමාජිකත්වය ලබාගෙන තිබූ අතර සී/ස සමිතියක් බවට පත් වීමෙන් පසු එම සංගමයන් සමඟ තිබූ ගණුදෙනු කටයුතු පුළුල් කරන ලදී. ණය ගණුදෙනු පුළුල් කිරීම සඳහා අවශ්‍ය වන මුල්‍ය වත්කම් ඒ වනවිට සමිතිය තුල අවශ්‍ය ප්‍රමාණයට නොතිබූ අතර කොළඹ දිස්ත්‍රික් සණස සංගමය අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ණය පදනම යටතේ ලබා දීමට එකඟ වන ලදී. ඒ අනුව 1992-1993 වසර වල පැවති රු. 30,000/= උපරිම දේපළ ඇප මත නිකුත් කරනු ලැබූ ණය ප්‍රමාණය රු.100,000/= දක්වා වැඩි කිරීමට අවශ්‍ය මුදල් කොළඹ දිස්ත්‍රික් සණස සංගමය මගින් ලබා දෙන ලදී. ඒ අනුව රු. 100,000/= මුල්ම ණය මුදල හිටපු සභාපති කේ.එච්. පෙරේරා මහතාගේ පුත්‍රයෙකු වන වී. චිත්‍රලාල් සිසිර කුමාර මහතා වෙත ලබා දෙන ලදී.
1993 වන විට මහ සභාව රැස් කිරීමට සහ පවත්වාගෙන යාමටත්, කාරක සභාව රැස් කිරීමටත් එවකට සිටි සභාපති ලේකම් දෙපල අපොහොසත් වීම නිසා එම නිලධාරීන් නිලතල වලින් ඉල්ලා අස්වූ අතර ඉන් අනතුරුව ඩී.කේ. රණසිංහ මහතා සභාපති ධුරයටත් කාරක සභාව තවත් 6 දෙනෙකුත් පත් කරගන්නා ලදී. ඒ.එම්. ජයතිලක මහතා ලේකම් ධුරය සදහා කාරක සභාව මගින් පත්කරගන්නා ලදී. එම කාලවකවානුව තුලදී පත්වූ ගරු සභාපතිතුමා ඇතුළු කාරක සභාවටත්, පැවති මහ සභාවටත් තිබූ ප්‍රධාන අභියෝගය වූයේ මහ සභා රැස්වීම් පැවැත්වීමට අවශ්‍ය වන ගොඩනැගිල්ලක් ඉදි කරගැනීමය, හිටපු ගරු සභාපති කේ.එච්. පෙරේරා මහතාගේ ඉඩමේ පැවති රැස්වීම් ශාලාවේ අභිනව නිලධාරී මණ්ඩලය විසින් රැස්වීම් වාර 2ක් හෝ 3ක් පැවැත්වීමෙන් අනතුරුව ඉදිරි මාස 3කින් පසුව තම ඉඩම සමිතියේ කටයුතු සඳහා ලබාදීමට නොහැකි බව හිටපු සභාපති කේ.එච්. පෙරේරා මහතා විසින් දැනුම් දීමෙන් අනතුරුව එම ශාලාවේ මහ සභා රැස්වීම් නවත්වා, සමිති මහ සභා රැස්වීම් ශාලාවක් ඉදි කෙරෙන තුරු පී. ඒ. නැන්සි නෝනා පෙරේරා මහත්මියගේ නිවසේ සභා රැස්වීම් පවත්වන ලදී. වර්ෂ 1991දි පමණ පී. ඒ. නැන්සි නෝනා පෙරේරා මහත්මිය විසින් සමිතියට පරිත්‍යාග කරනු ලැබූ පර්චස් 16ක ඉඩම් කොටසේ රැස්වීම් ශාලාවක් ඉදිකිරීම සඳහා අඩිතාලම දමා පෙර පැවති කාරක සභාව මගින් ආරම්භ කර තිබූ කටයුතු වර්ෂ 3ක් පමණ පැරණි එම අත්තිවාරම මත නව රැස්වීම් ශාලාව ඉදිකිරීමේ කටයුතු අභිනව කාරක සභාව මගින් ආරම්භ කල අතර ඒ සඳහා සමිති සාමාජිකත්වයේ උපරිම දායකත්වය ලබා දෙන ලදී.
1994 වර්ෂයේදී ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කල අතර එම වර්ෂයේදීම එම ශාලාවට ගෙවදීමේ කටයුතු සිදුකරන ලදී. එම වර්ෂයේදී සමිතියේ ගරු ලේකම්තුමා ප්‍රදේශයෙන් බැහැරව පදිංචියට ගිය බැවින් ලේකම් ධූරය සඳහා පී. ඒ. ලයනල් පෙරේරා මහතාව සමිතියේ කාරක සභාව මගින් පත් කරගන්නා ලදී. 1994 සිට 1998 දක්වා ඩී.කේ. රණසිංහ මහතා ප්‍රමුඛ කාරක සභාව සාමාජිකයින් ප්‍රවර්ධනය කිරීම, තැන්පතු ප්‍රවර්ධනය කිරීම, අලුතින් ණය වර්ග හඳුන්වා දීම ආදී ප්‍රගතිශීලි කටයුතු සිදු කරමින් සමිතියේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලදී.
1998 පැවති මහ සභා රැස්වීමේ සමිති සභාපති දුරයේ වෙනසක් සිදුවූ අතර ඩී..කේ රණසිංහ මහතා වෙනුවට හිටපු ග්‍රාම නිලධාරියෙකු, සමූපකාර පරීක්ෂකයෙකු ලෙස කටයුතු කර ඇති ඇප සමිතියේ පැරණි සාමාජීකයෙකු මෙන්ම සමිතියේ නිලතල රාශියක් හොබවා තිබූ එස්. වන්නිආරච්චි මහතා සමිතියේ සරු සභාපතිධුරයට පත් කරගන්නා ලදී. ඒ මහතා අවුරුදු 02ක් පමණ සභාපති තනතුරේ කටයුතු ඉටු කල අතර දේපළ ඇප මත නිකුත් කරනු ලැබූ රු. 100,000/= ක මුදල රු. 300,000/= දක්වා වැඩි කිරීමට ඒ මහතාගේ කාලයේදී සිදු වූ වැදගත් කටයුත්තක් විය. 2000 වර්ෂයේදී පැවති සංවත්සර මහ සභාවේ දී ගරු සභාපති ධූරය සඳහා එවකට උප සභාපති ධූරයේ කටයුතු කර තිබූ ආර්.ඒ.ඩි. කරුණාසේන මහතා සමිතියේ ගරු සභාපති ධූරය සඳහා තෝරා පත් කරගන්නා ලදී. සාමාජිකත්වය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු, සුභ සාධක කටයුතු පුළුල් කිරීම, අලුතින් ණය වර්ග හඳුන්වා දීම, මරණාධාර රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම, ණය සීමාවන් වැඩි කිරීම, සාමාජික තැන්පතු මුදල් වර්ධනය කිරීමට කටයුතු කිරීම, ආදී කටයුතු වලට ප්‍රමුඛත්වය ලබාදීම අභිනව සභාපතිතුමා ප්‍රමුඛ කාරක සභාව මගින් සිදු කිරීම ප්‍රමුඛ කාර්යයන් විය. සමිති ශාලාවේ ඉඩකඩ මදිවීම නිසා 2003 වර්ෂයේදී සමිති ශාලාවට අලුතින් කොටසක් එකතු කරන ලදී. අලුතින් බැංකු කාර්යාලයක් ඉදිකිරීම සඳහා සමිති ශාලාව ඉදිරිපිට තැනූ පර්චස් 10ක ඉඩම් කොටස සමිතිය මගින් මිලදී ගැනීම 2005 වර්ෂයේදී සිදු කරන ලද ඉතා ඵලදායි කටයුත්තක් විය. පර්චස් 10ක ඉඩම 2005 වර්ෂයේදී රු. 550,000/= මිලදී ගත් අතර වර්තමාන බැංකු කාර්යාලය එම ඉඩමේ ස්ථාපනය කර ඇත.
මෙම කාලසීමාව තුලදී තැන්පත් මුදල් වර්ධනය කරගැනීම තුලින් සාමාජික ණය සීමාවක් වැඩි කල අතර අදියර කිහිපයකට පසු දේපළ ඇප මත නිකුත් කරනු ලබන ණය මුදල උපරිම රු. 2,000,000/= දක්වා වැඩි කරන ලදී. ඒ සමඟම අනෙකුත් ණය මුදල් වල සීමාවන්ද වැඩි කරන ලදී. සමිතියේ සුභ සාධන අංශය ප්‍රතිසංවිධානය කරමින් මරණාධාර අංශයෙන් සාමාජිකයින් වෙත ලබාදෙන ප්‍රතිලාභ වැඩි කරන ලදී. ඒ අනුව ඉතාම සරල මරණාධාර ක්‍රමයක් ඇති කරන ලදී. පැරණි සාමාජිකයින් මරණාධාර රක්ෂණ ක්‍රමයකට ඇතුළත් කල අතර එම දායක මුදල් සමිතිය මගින් ගෙවන ලදී. හොරහේන ප්‍රදේශයට පානීය ජලය ලබාදීම සණස සමිතිය මැදිහත් වී ඉටු කිරීම ප්‍රජාසේවා රාශිය අතරින් එකක් විය. තවද ප්‍රදේශයට බලවත් අඩුපාඩුවක්ව පැවති ඡන්ද මධ්‍යස්ථානයක් සමිති ශාලාවට ලබාගැනීම මෙම කාලය තුලදී ඉටු කිරීමට යෙදීම තවත් ප්‍රජා සේවාවක් විය. 2005 වර්ෂයේදී ප්‍රදේශයට දැවැන්ත ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දීම සඳහා නොමිලේ ඉංග්‍රීසි ඉගැන්වීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර එවකට කඩුවෙල ප්‍රාදේශීය සභාව වෙත කරන ලද ඉල්ලීමකට අනුව නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානයක් සමිති ශාලාවට ලබා ගැනීමට හැකිවිය. වර්තමානය දක්වාම එම ආයුර්වේද සායනය ආසන්නයේ ඇති ධර්මශ්‍රාම විහාරය හරහා පවත්වාගෙන යනු ලැබේ.
ඒ සමගම සමිතිය මගින් පවත්වාගෙන යනු ලබන පුස්තකාල කටයුතු පුළුල් කිරීමට මේ කාලය තුලදී කටයුතු කල අතර ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව රු. 100,000/= පමණ පොත් තොගයක් ලබාගැනීමට කටයුතු කල අතර මොහාන් ලාල් ග්‍රේරු පදනම මගින් රු. 100,000 ක පමණ පොත් පරිත්‍යාග කරන ලදී. සංස්කෘතික කටයුතු සඳහා මුල් තැනක් දීම වෙනුවෙන් වාර්ෂිකව සිංහල අලුත් අවුරු උත්සව කිහිපයක් සමිතිය මගින් සංවිධානය කළ අතර අවට ප්‍රදේශයේ පැවති සිංහල අලුත් අවුරුදු උත්සව වෙනුවෙන් අනුග්‍රහයද දක්වන ලදී. දීර්ඝ කාලයක් සිට ණය මුදලක් ලබා ගැනීමෙන් හෝ තම පුද්ගලික මුදල් යොදවා වන්දනා චාරිකා සංවිධානය කිරීමේ යුගය අවසන් කරමින් වන්දනා හා අධ්‍යාපන අරමුදලක් පිහිටුවා සියළුව සාමාජිකයින්ට වාර්ෂිකව එම මුදලේ ප්‍රතිලාභ ලබාදීම මෙම කාලය තුල සිදු කරන ලද තවත් සාමාජික මෙහෙවරක් විය. සමිතිය මගින් සංවිධානය කරන වන්දනා ගමන් යෑමට අවස්ථා නොලද අයටද පුද්ගලිකව වන්දනා චාරිකා සංවිධානය කර ගැනීමට මෙම අරමුදලින් මුදල් ලබාදෙන ලදී. දැනට පවත්වාගෙන යනු ලබන බැංකු කාර්යාලය 2007දි පමණ ඉදිකිරීම ආරම්භ කරන ලදී. තවද සමිති ශාලාව ආසන්නයේ ඇති ධර්මාශ්‍රම විහාරස්ථානයට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් ගල් අතුරා සකස් කිරීමේ මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්තුව සමිතිය මගින් ලබාගෙන එම කාර්යය මනාව ඉටුකර දීම මෙම කාලයේදී ඉටු කරන ලද තවත් ප්‍රජා සේවාවක් විය.
කේ.එච්. පෙරේරා මහතා සමිතියේ සභාපතිව සිටිනා කාලය තුල එවකට පැවති කාරක සභාව මගින් බඳවා ගන්නා ලද 1993 සිට 2009 දක්වා කටයුතු කරන ලද කළමණාකාරවරිය විසින් සිදු කරන ලද මුදල් අවභාවිතයක් 2009 වර්ෂයේදී අනාවරණය කරගන්නා ලදී. එය මෙවන් ප්‍රාථමික සමිතියක සිදුවූ සැලකිය යුතු මුල්‍ය වංචාවක් වූ අතර 1996 සිට මුල්‍ය වංචාව සිදුවූ අතර 2005 වර්ෂය දක්වා සමුපකාර සංවර්ධන දෙපාර්තුමේන්තුව මගින් තම වාර්ෂික විගණන කටයුතු සිදුකර තිබුනද මේ පිළිබඳව අනාවරණය නොවූ අතර 2009 වර්ෂයේදී මේ පිළිබඳව අනාවරණය වීමෙන් පසුව එවකට සිටි කාරක සභාව මගින් සමුපකාර සංවර්ධන දෙපාර්තුමේන්තුවේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ උපදෙස් පරිදිම සමුපකාර විමර්ශනයක් සිදු කරමින් සමිතියේ අලාභය හෙළි කරමින් හිටපු කලමණාකරවරියගෙන් එම මුදල් අය කරගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සියල්ල ඉටු කරන ලදී. තවද මෙම අවභාවිතය කරන ලද මුදල් ආපසු ගෙවන තුරු කළමණාකාරවරිය සතු නිශ්චල දේපළ සැලකිය යුතු ප්‍රමාණයක් සමිතිය වෙත පවරා ගැනීමට කටයුතු කරන ලදී. තවද 2016 වසර වන විට එම අවභාවිතය කරන ලද මුදල හා ඊට අදාල පොලී මුදල හිටපු කලමණාකාරවරියගෙන් අයකර ගැනීමේ කටයුතු දක්වා අවශ්‍ය පියවර ගන්නා ලදී.
සී/ස හොරහේන සණස සමිතියේ වර්තමාන සභාපති බී. අමිත් කුමාර මහතාගෙන් ලබාගත් තොරතුරු
2016 වර්ෂයේ මැද භාගයේ වසර 22ක් ලේකම් තනතුර දැරූ පී.ඒ. ලයනල් මහතා හා වසර 16ක් සභාපති තනතුර දැරූ ආර්.ඒ.ඩි. කරුණාසේන මහතාගේ තනතුර වෙනස් කරමින් නව සභාපති හා ලේකම්වරියක මහ සභාවෙන් හා කාරක සභාවෙන් තේරී පත්විය. හිටපු සභාපති ආර්.ඒ.ඩි. කරුණාසේන මහතාගේ පරිත්‍යාගශීලි හා නිවැරදි නායකත්ව ලක්ෂණ ප්‍රකට කරමින් 2016 වර්ෂයේ එවකට තරුණ සාමාජිකයෙකු වූ කාරක සභාවේ නොයෙකුත් නිලතල හෙබවූ බී. අමිත් කුමාර පෙරේරා මහතා එතුමාගේ යෝජනාව අනුව තේරී පත්විය. ඒ අනුව කාරක සභාව විසින් නව ලේකම් ලෙස ධම්මි රේණුකා මහත්මිය තෝරා පත්කර ගන්නා ලදී.
අභිනව සභාපතිතුමාට හා ලේකම්තුමියට මුල් කාල වකවානුවේදී සමිති කටයුතු හා බැංකු කටයුතු පවත්වාගෙන යාමට බාධා පැමිණියද හිටපු සභාපති ආර්.ඒ.ඩි. කරුණාසේන මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ එම සියලු බාධා යටපත් කරමින් වසර 3ක් වැනි කෙටි කාලයක් තුලදී පහත ප්‍රමුඛ කාර්යය සාමාජිකත්වය වෙනුවෙන් සිදුකිරීමට අභිනව සභාපතිතුමා ඇතුළු කාරක සභාවට හැකියාව ලැබුණි.
සාමාජික පවුල් 02ක ළමුන් 6 දෙනෙකුගෙන් සමන්විතව තිබූ සී/ස හොරහේන සණස ළමා සමිතිය ළමුන් 50 දෙනෙකුගෙන් සමන්විත ශක්තිමත් ළමා සමිතියක් බවට පත්වීම හා සී/ස කොළඹ දිස්ත්‍රික් සණස සංගමය මගින් පවත්වනු ලබන තරඟ සඳහා ඉදිරිපත් කර සමිති නාමය පෙරදැරි කරගෙන සම්මාන සහතික පත් ලබාගැනීම. ළමා සමිති දරු දැරියන් වෙනුවෙන් දෙසැම්බර් මාසයේදී පාසල් පොත් කට්ටලය, සපත්තු, මේස්, බෑග් හා පාසල් උපකරණ නොමිලේ ලබාදීම හා ගාස්තු රහිතව අධ්‍යාපන චාරිකා රැගෙන යාම. ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ට ඉතිරි කිරීම ප්‍රගුණ කිරීමට සිහිවටන ලබාදීම. ළමා සමිති දූ දරුවන් වෙනුවෙන් ඔවුන් විසින් නිර්මාණය කරන ලද කමිසයක් නොමිලේ ලබාදීම.
බැංකු කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ගේ තනතුරු සමුපකාර සේවක කොමිෂන් සභාවේ අනුමත කර පත්වීම් ලිපි හා රාජකාරි ලැයිස්තු ලබාදීම, සෙනෝවා ආයතනය සමග සම්බන්ධවී නව තාක්ෂණයට අනුව සියලුම බැංකු කටයුතු පරිගණක මෘදුකාංග යටතේ සිදුකිරීම ආරම්භ කිරීම.
සමිතියේ අභිවෘධිය වෙනුවෙන් කාලය/ශ්‍රමය කැප කල සාමාජිකයින් වෙත ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වය පිරිනමා ඒ වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කර ඔවුන් වෙනුවෙන් යැපීම් දීමනාවක් සමග තැන්පත් හා ණය සහන ලබාදීම. මීට අමතරව සෑම වැඩිහිටි දිනකම සමිතියේ වැඩිහිටි සාමාජිකයින්ට තිළිණ ලබාදීම.
සමිතියේ පැවති සුභසාධක ව්‍යවස්ථාව වර්තමානයට ගැලපෙන පරිදි සකස් කර එමගින් ලබා දුන් සුභසාධන හා මරණාධාර කටයුතු තවදුරටත් පුළුල් කිරීම හා වියන් සහිත තහඩු මඩු/පුටු සඳහා කවර නිර්මාණය කිරීම.
සියලුම සාමාජිකයින් වෙනුවෙන් ටී ෂර්ට් එකක් නිර්මාණය කර නොමිලේ ලබාදීම හා සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් වියලි ආහාර මල්ලක් ලබාදීම. ඊට අමතරව වර්ෂ අවසානයේදී අදාළ වර්ෂය තුල සමිති පැමිණීම/කොටස්/ඉතුරුම්/අනිවාර්ය වැඩියෙන් මාසිකව තැන්පත් කිරීම/ස්ථිර තැන්පත් ආරම්භ කිරීම/ණය වාරික ගෙවීම අනුව හොඳම සාමාජිකයින් දස දෙනෙකුට (10) විශේෂ ත්‍යාගයන් හා අනෙකුත් සාමාජිකයින්ට ඉපැයීම අනුව ත්‍යාග ලබාදීම.
සාමාජිකත්වය වෙනුවෙන් නිවාස/ණය/වාහන ණය වැනි නව ණය හඳුන්වා දීම. ඒ අතරින් ධනයෝජන ණය ක්‍රම ඉතා වැදගත් ණය ක්‍රමයකි. එමගින් සාමාජිකයාට නව ස්ථාවර තැන්පතුවක් ආරම්භ කර තම ඉතුරුම් ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබී ඇත.
බැංකු කාර්යාලය පරිශ්‍රය වායු සමීකරණය කර එහි ආරක්ෂාව වෙනුවෙන් CCTV කැමරා පද්ධතියක් ස්ථාපනය කිරීම ද මෙම අවධියේදී සිදුවිය.
බැංකු කාර්යාලයේ ගමන් බිමන් සඳහා නව ත්‍රීරෝද රථයක් මිලදී ගැනීම හා එහි රියැදුරු ලෙස කටයුතු කිරීමට/සුභ සාධන රාජකාරි කටයුතු හා බැංකු කාර්යාලය ආරක්ෂාව වෙනුවෙන් පිරිමි සේවකයෙකු බඳවා ගැනීම ද සිදු කරන ලදී.
ප්‍රදේශයේ සියලුම ජනතාව වෙනුවෙන් අක්‍රිය වී තිබූ සිංහල අලුත් අවුරුදු උත්සවය නැවත පැවැත්වීම ආරම්භ කිරීම හා කඩුවෙල මහ නගර සභාව සමග එක්වී ප්‍රදේශයේ වරිපනම් කඳවුරක් සමග ජංගම වැඩසටහන් පැවැත්වීම තවද ප්‍රදේශයේ සියලුම ජනතාවගේ ජල/විදුලි හා දුරකථන බිල්පත් ගෙවීම් කිරීම M-Cash සේවාව හා සම්බන්ධ වී ආරම්භ කිරීම හා සමූපකාර රක්ෂණ සංස්ථාව සමග සම්බන්ධ වී සාමාන්‍ය රක්ෂණ සේවාව ආරම්භ කිරීම ද මේම අවධියේ සිදුවිය.
සමිතියේ අක්‍රියව පැවති කාන්තා/විගණන/අධ්‍යාපන හා සුභ සාධන කමිටු නැවත සක්‍රිය තත්ත්වයට පත්කර සමිති සාමාජිකයින්ගේ ආකල්ප, දැනුම හා හැකියාව වැඩිදියුණු කිරීම සඳහා නොයෙකුත් පාඨමාලා සංවිධානය කිරීම. දින තුනේ චාරිකාවට සහභාගී වීමට නොහැකි සියලුම සාමාජිකයින් එක්දින විනෝද චාරිකාවක් ගාස්තු රහිතව රැගෙන යාම හා සාමුහිකත්වය වර්ධනය කරගැනීමට අවස්ථාව උදාකර දීම.
සමිතියේ සුවිශේෂී දින කාරක සභාව/මහ සභාව/අවුරුදු උත්සවය/බැංකු කාර්යාලය නිවාඩු දින ඇතුලත්ව සාමාජිකයාට ඉතා වටිනා දින දර්ශනයක් නොමිලේ ලබාදීම. සමිතිය ආරම්භක වර්ෂය වන 1939 සිට වර්තමානය දක්වා සභාපති/ලේකම් නිලතල දැරූ නිලධාරීන් ඇගයීමට ලක්වන පරිදි ඡායාරුප කාර්යාල පරිශ්‍රයේ ස්ථාපනය කිරීම. නව තාක්ෂණයට අනුව සී/ස හොරහේන සණස සමිතිය වෙනුවෙන් Facebook පිටුවක් හා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම.

